ඇඳිරි නීතිය තිබියදී මත්ද්‍රව්‍ය ගෙන ගිය දෙදෙනක් මන්නාරමෙන් අල්ලති


සිතුම් චතුරංග

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 යි මිලිග්‍රෑම් 930 ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් මන්නාරම සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් සැකකරුවන් මත්ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ බව පොලිසිය පැවසීය.

යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසියකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවටගත් බවත් ලොරි රථයේ පසුපස කොටසෙහි පී.වී.සී බටයක්තුල සූක්ෂම අයුරින් සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් හට ඇඳිරි නීති ගමන් බලපත්‍ර නොතිබූ බවත් එහි අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් විශාල පුවරුවක් ප්‍රදර්ශනය කර තිබූ බවද පොලිසිය පැවසීය.